Photobucket

Thursday, March 7, 2013

දෙවියන් මිනිසා මැවුවාද? මිනිසා දෙවියන් මැවුවාද?

’දේවි’ රායි ගේ චිත්‍රපට අතරින් දැඩි හින්දු ලක්ෂණවලින් හෙබියාවු චිත්‍රපටයක් වන අතර හින්දු සිරිත් විරිත් ගැන දැනුමකින් තොරව එය රස විඳීම අසීරු බවත් ප්‍රකාශ වී තිබෙනවා.

චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙහෙමයි. දෙයාමොයි නමැති තරුණ ගැමි කාන්තාව විවාහවී සිටින්නේ උමා ප්‍රසාද් එක්ක. ඔහු තවමත් කල්කටාවේ ඉගෙනුම ලබමින් සිටින්නෙක්. උමා ප්‍රසාද්ගේ පියා කලිකින්කර්. ඔහු සමිර්දාර් පෙළපතට අයත් දැඩි ආගම් භක්තියකින් යුතු කෙනෙක්. තම ලේලියට කාලි මාතාවගේ ආත්ම භාවය ලැබී ඇතැයි ඔහු විශ්වාස කරනවා. ඔහු ඇයට වැඳුම් පිදුම් පවා කරනවා. (ගැහැනියකට දේවතාවියකගේ ආත්ම භාවයක් ලැබිය හැකිය යන විශ්වාසයක් ආදි කාලයේ ඉඳන් ඉන්දීය ජන සමාජයේ තියෙනවා.) බොහෝ ඉන්දීය කාන්තාවන්ගේ නමේ අගට ‘දේවි’ කියා යෙදෙන බව අප දන්නවා. දොයාමොයි ගේ දේවාත්මභාවය දැනගන්නා ගැමියොත් සාධුවරයෝත් ඇය වන්දනාමාන කිරීම සදහා එන්න පටන් ගන්නේ වැළ නොකැඩී. උමා ප්‍රසාද් ගේ සොහොයුරාගේ බිරිය මේ බව දන්වා උමාට ලිපියක් යවනවා. ලේලිය ඉදිරියේ හිඟන්නකුගේ රෝගි මුණුපුරකු සුවපත් වෙනවා. කවුරුත් සලකන්නේ මෙය ප්‍රාතිහාර්යක් වශයෙන්.

උමා ප්‍රසාද් නිවෙසට එනවා. ඔහු පියාගේ අන්ධ භක්තියට දැඩි විරුද්ධත්වය පානවා. තම බිරියව කල්කටාවට එක්කරගෙන යෑමට උමා උත්සාහ ගන්නවා. මේ අතර දෙයාමොයි ද තමා කාලි ආත්ම භාවය ලබා ඇතැයි විශ්වාසය පළ කරනවා. “මම දෙව්දුවක් වුණාම මොකද? ළමයා හොඳ වුණා.” ඇය කියනවා. උමා යළි තනිවම කල්කටාවට යනවා.

චිත්‍රපටයේ වැදගත් අවස්ථාවක් වන්නේ උමා ප්‍රසාද්ගේ සොහොයුරාගේ දරුවා අසනීප වීම. ඔහුව වෛද්‍යවරයකුට නොපෙන්වා දොයාමොයි වෙත යොමු කරවනවා. එහෙත් අවසනාවන්ත අයුරින් දරුවා මිය යනවා. උමා ප්‍රසාද් යළි නිවෙසට එනවා. එහෙත් ප්‍රමාද වැඩියි. දොයාමොයි උන්මත්තක භාවයට පත්ව සිටිනවා.

මේක මිථ්‍යා විශ්වාසයන්ට එරෙහිව රායි හදපු චිත්‍රපටයක්. ඔහුගේ නිර්දය විවේචනය එල්ල වන්නේ හින්දු ආගමේ එන අන්ධ භක්තියට. ‘ඒෂියා මැගසින්’ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙන සත්‍යජිත් රායි ‘දේවි’ චිත්‍රපටය ගැන මෙහෙම කියලා තියෙනවා.

”අන්ධ විශ්වාසයන්ට ඇලී හිඳීමෙන් ශෝක ජනක සිද්ධි ඇතිවන හැටි ‘දේවි’ චිත්‍රපටයෙන් මා පෙන්නුවා. ගැලවෙන මඟ එයින්ම ඇඟවෙනවා. අන්ධ විශ්වාසයක් ඇතිකරගන්න එපා. ඔබට මේ විදියේ දෙයක් සිද්ධ වෙයි. එය ආගමික චාරිත්‍රවලට කළ අනදරයක් මෙන් පෙනෙන්නට තිබූ හෙයින් රජයත් ඇතැම් විචාරකයනුත් චිත්‍රපටය අවඥා කළා. ඒක මගේ අභිප්‍රාය වුණේ නැහැ.”

මෙම චිත්‍රපටයට පාදක වන්නේ 1860 ගණන්වල ඉන්දීය ජන සමාජය වුණත් චිත්‍රපටයේ අත්දැකීම වර්තමානයටත් අදාළයි. මෙහි කතා රචනය රායිගේ නෙමෙයි. ප්‍රභාත් කුමාර් මුඛර්ජිගේ.

’දේවි’ චිත්‍රපටය ගැන අදහස් දක්වන ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘ඔපු ත්‍රිත්වය’ නොතිබුණේ නම් ‘දේවි’ ඉන්දියාවේ එතෙක් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටය බව කියන්ට ඉඩ තිබිණැයි කියා සිටිනවා.

කිසියම් ආකාරයකින් සලකලා බැලුවොත් ‘දේවි’ චිත්‍රපටයේත් ලෙස්ටර් ගේ ’රේඛාව‘ චිත්‍රපටයේත් එක්තරා සාම්‍යයක් තිබෙනවා. ඒ දෙකෙන් ම වෙන්නේ මිථ්‍යා විශ්වාසයන්ට පහරදීම. ‘රේඛාව‘ චිත්‍රපටයේත් අන්ධ භක්තිය නිසා රෝගි දරුවකු මියයනවා ඔබට මතක ඇතැයි සිතනවා.

’ලින්ක්’ නම්වූ සඟරාවට ‘බෙංගාලි සිනමාව‘ ගැන ලිපියක් සපයන ප්‍රබෝද් කුමාර් මෛත්‍රා ‘දේවි’ චිත්‍රපටය ගැන මෙහෙම කියනවා.

”’දේවි’ තුළින් ඔහු (රායි) අමුතුම ලෝකයක් ගවේෂණය කරයි. මැනවින් සැකසුණු ලෝකයක් වන එහි බලපවත්වන මිථ්‍යා විශ්වාසයත් ඊට එරෙහිව නැඟී එන නව හර පද්ධතියත් නිරූපණය කරන බලවේගයත් ඉන් ඉදිරිපත් කෙරේ.”

මං හිතන්නේ ඒ අදහස් ඉතා වැදගත්. උමා ප්‍රසාද් වගේ කල්කටාවට ගිහින් අපරදිග මත ඉගෙන ගන්නා තරුණ ශිෂ්‍යයා නියෝජනය කරන්නේ මේ නව හර පද්ධතියයි.

චිත්‍රපටයේ අවසානය හරි අපූරු එකක්. අපි එහිදි කාලි මෑණියන්ගේ මැටි රූපයක් දකිනවා. මෙයින් රායි අදහස් කළේ දෙවියන් විසින් මිනිසා නොව මිනිසා විසින් දෙවියන් මවනු ලැබූ බව ද?
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all