Photobucket

Friday, March 8, 2013

තරගයට මා සූදානම්

පුෂ්පිකා සඳමාලි

2011 වසරේ දෙරණ වීට් ‘මිස් ශ්‍රී ලංකා’ රූ රැජන ලෙස කිරුළ පැළඳි සුරූපිනිය, ‘පුෂ්පිකා සඳමාලී’ නැවතත් ජාත්‍යන්තරය හමුවේ තම මවුබිමට කීර්තියක් අත්පත් කරදීමට සූදානම් වන්නීය. ඒ මාර්තු මස 16 සිට 31 දක්වා ඊජිප්තුවේ අල් ගුවානා හී පැවැත්වීමට නියමිත ලොව දක්ෂතම නිරූපිකාව හෙවත් Top Model of the World 2013 තරගාවලියෙනි.

මේ දිනවල ඒ සඳහා ඇප කැපවී සිටින පුෂ්පිකාගේ කාර්ය බහුල දින කිහිපයෙන් එක් විවේකී මොහොතක තම නවතම අත්දැකීම අප හා බෙදා ගැනීමට පිළිසඳරට එක්වූවාය.

පුෂ්පිකා ඔබ දැන් තරගයට මුහුණ දීමට සූදානම්ද?
ඔව්. මේ දිනවල මම හොඳින් ඒ සඳහා සූදානම් වෙනවා. ඉදිරි දිනවලදී ඉන්දියාවට ගිහින් සති දෙකක විශේෂ පුහුණුවක් ලබාගැනීමටත් මම කටයුතු කරමින් ඉන්නවා.

මේ තරගාවලිය ගැන විස්තර කියමුකෝ?
’ටොප් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ්’ තරගාවලිය මුල් වරට පැවැත්වුණේ 1993 මියාමිවලදී. 20 වැනි සංවත්සරයයි මෙවර ඊජිප්තුවේ අල් ගුවානා හි පැවැත්වෙන්නේ. මේ තරගය සංවිධානය කරන්නේ ‘වර්ල්ඩ් බියුටි ඕර්ගනයිසේෂන්’ නම් වූ ජාත්‍යන්තර ආයතනයයි.

මේ තරගාවලියේ විශේෂත්වය කුමක්ද?
මේක වෘත්තිකයන්ගේ තරගාවලියක් යැයි කීම නිවැරැදියි. තමන් නියැළෙන නිරූපණ වෘත්තියේ උපරිමයෙන්ම වෘත්තිය දක්ෂතා පෙන්වා ඒ දක්ෂතාවයෙන් ලොව අංක එකේ නිරූපිකාව ලෙස අභිසෙස් ලබන්නට පුළුවන්. රටවල් 60ක් පමණ නියෝජනය කරන මේ තරගාවලියේ දී ස්වාභාවික රූ සපුව, වර්තමාන විලාසිතාවකට කොතරම් ගැළපෙනවාද සහ ෆොටෝජෙනික් යන අංශ තුනකින් ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුකරනවා. මේ ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තරගකාරියන් ඉදිරිපත් වන්නේ ප්‍රථම වතාවටයි.

මේ තරගාවලිය නියෝජනය කරන්න ඔබට අවස්ථාව ලැබුණේ කෙසේද?
දෙරණ රූපවාහිනිය හරහා තමයි මට මේ අවස්ථාව උදාවුණේ.

මේ ඔබේ පළමු ජාත්‍යන්තර අත්දැකීම නොවෙයි නේද?
නැහැ. මීට කලින් 2011 දී ලෝක රූ රැජන තරගාවලියට සහභාගි වෙන්නට මට වරම් ලැබුණා. එහිදී ‘බියුටි විත් ද පර්පස්’ අංශයෙන් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබුණා.
ඉන්පසු සංචාරක රූ රැජන තරගාවලියේ දී ‘හොඳම ජාතික ඇඳුමට’ හිමි කිරුළ දිනා ගැනීමට මට හැකියාව ලැබුණා.

මෙවැනි වෘත්තීය මට්ටමේ ජාත්‍යන්තර තරගයන් සඳහා ලාංකේය නිරූපණ ක්‍ෂේත්‍රයේ පවතින පහසුකම් සහ වෘත්තීය දක්ෂතා ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද?
ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයේ නියැළී සිටින නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ඉතාමත් දක්ෂයි. ඔවුන්ගේ හැකියාව සහ පළපුරුදු භාවය ඔවුන්ම ඔපමට්ටම් කරගනිමින් තමයි මේ තත්ත්වයට පැමිණ සිටින්නේ. නමුත් ජාත්‍යන්තර නිරූපණ ක්‍ෂේත්‍රයට අභියෝගයක් වෙන්නට අපිට හැකියාව තිබුණත් අපේ නිරූපිකාවන්ට ෆෝමල් ට්‍රේනින් එකක් අවශ්‍යයි. මොකද මා පෙර කියූ පරිදි මෙය වෘත්තීයක් නියෝජනය කරන තරගයක් නිසා අප ඒ වෘත්තීය මට්ටමට පැමිණිය යුතුයි.

මේ තරගාවලියේ දී ඔබේ අරමුණ?
මනා පුහුණුවකින් සහ ඉතාමත් හොඳින් තරගයට මුහුණ දී ඒ දක්ෂතාව හරහා මගේ රටට ජාත්‍යන්තර කීර්තිය අත්පත් කර දෙන්නයි. 

ඒ වගේම ලොව දක්ෂතම මෙන්ම ජනප්‍රියතම නිරූපණ ශිල්පිනියන් අතරට යෑමේ මගේ සිහිනය සැබෑ කරගන්නත් මේ තරගය ඔස්සේ මගේ වෘත්තීය දක්ෂතා ඉස්මතු කර පෙන්වන්නත් මම කැප වෙනවා.

මෙවැනි වෘත්තීය මට්ටමේ තරගාවලියක් නියෝජනය කරන ඔබ වෘත්තීය නිරූපණ ශිල්පිනියක්ද?
නැහැ. මම අපේ පවුලේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ ආයතනයක අධ්‍යක්ෂවරියක ලෙසයි මම රැකියාව කරන්නේ. නිරූපණ ක්ෂේත්‍රයට මා ඉතාමත් කැමැතියි, ආදරෙයි.
කුඩා කල සිට මගේ හීනය වුණේ රටක රූප රාජිනියක් වීමයි. ඒ වගේම ලොව දක්ෂතම නිරූපණ ශිල්පිනියක වීම ඒ සිහිනයේ තවත් කොටසක්.

ඔබේ ඉදිරි බලාපොරොත්තුව?
අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයට එන්න කැමැති, නිරූපණයට දක්ෂතා දක්වන දරුවන් බොහොමයක් ඉන්නවා.
එවැනි අයට අත දෙමින් ඔවුන්ගේ වෘත්තීය දක්ෂතා පුහුණු කරවමින් ඔවුන් ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රයට අභියෝග කළ හැකි ලාංකේය සුපිරි නිරූපණ ශිල්පීන් පිරිසක් බවට පත් කිරීමයි මාගේ බලාපොරොත්තුව.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all