Photobucket

Friday, March 8, 2013

රතු හැට්‌ටකාරි බල අධිකාරියත්, ජනතාවත් අතර ඇති සදාකාලික ගැටුම පෙන්නුම් කරනවා

අපේ වේදිකාවට දැන් සිරිදෙව්දුව වඩින කාලය උදා වී ඇත. ඒ දිනය ඈතක නොවේ. ළඟ ළඟමය...

දී කිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

රතුහැට්‌ටකාරී යළි වේදිකාවට එන්නීය. හැත්තෑව දශකය මුලදී වේදිකාව ආලෝකවත් කළ වේදිකාවට ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය කළ රතුහැට්‌ටකාරී අවුරුදු තිස්‌තුනකට පසු වේදිකාවට පා තබන්නීය.

රතුහැට්‌ටකාරී නොදුටු පරපුරක්‌ ඇත. ඒ පරපුරත් රතු හැට්‌ටකාරී දුටු පරපුරත් යළි ඈ දැක ගැනීමේ ආශාවෙන් සිටිති. ලූෂන් බුලත්සිංහල ප්‍රවීණ ශිල්පියා ඒ සඳහා සූදානම්ව සිටී. රතුහැට්‌ටකාරී යළි වේදිකාවට කැන්දාගෙන එන ලූෂන් බුලත්සිංහල සිනමා කලා සංග්‍රහය සමඟ කළ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.

රතුහැට්‌ටකාරී ආයෙත් පෙන්වන්න හිතුවේ ඇයි?

හැත්තෑ හතරෙදි තමයි රතුහැට්‌ටකාරී මුලින්ම කළේ. දර්ශන වාර රැසක්‌ ප්‍රදර්ශනය කළා. ඒත් අසූඑකේදී "තාරාවෝ ඉගිලෙති" වේදිකාවට ගෙන ඒමත් සමඟම "රතුහැට්‌ටකාරී" නතර කළා. හැත්තෑහතරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය රචනය, නළුවා සහ සංගීතය වෙනුවෙන් සම්මාන හිමිවුණා. මගේ මිතුරන් බොහෝ දෙනෙක්‌ පෙළඹෙව්වා යළි "රතුහැට්‌ටකාරී" කරන්න කියලා. සෙරනිට්‌ එන්ටර්ටේන්මන්ට්‌ වෙනුවෙන් එම්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු, බණ්‌ඩාර ඇහැලියගොඩ යන සහෘදයන් මුදල් වියදම් කරන්න කැමැත්ත පළ කළා. ඒ මහත්වරුන් මුදල් වියදම් කරන්න කැමැත්ත පළකිරීමත් සමඟම පිබිදීමක්‌ ඇතිවුණා. මොකද මට තනිව මෙවැනි කාර්යයක්‌ කරන්න හැකියාවක්‌ නෑ.


රතුහැට්‌ටකාරී අදටත් වලංගුද?

ඒ කාලේ සුගතපාල ද සිල්වා, බන්දුල ජයවර්ධන වැනි ප්‍රවීණ නාට්‍යකරුවන් පවා රතුහැට්‌ටකාරී දැක්‌කේ අකාලික නාට්‍යයක්‌ ලෙසයි. මෙය තාත්වික ස්‌වාභාවික නාට්‍ය ශෛලියට යන එකක්‌ නොවේ. මායාව බිඳින බ්‍රෙෂ්ට්‌ගේ න්‍යායට හැදූ සංකේතමය නාට්‍යයක්‌. හැම චරිතයක්‌ම සංකේතයක්‌. එනිසා ඕනෑම කාලයක පෙන්වන්න පුළුවන්. "රතුහැට්‌ටකාරී" තේමාව හැත්තෑ හතරට වගේම අදටත් ඔබින අකාලික තේමාවක්‌. ජනකතා, මිථ්‍යා කතා, ආගමික හා ඉතිහාස කතා "රතුහැට්‌ටකාරී" තුළ මම වියමන් කළා. ඒ නිසා "රතුහැට්‌ටකාරී" කියන්නේ ජනනාට්‍යයක්‌. සංගීතයත් ජන සංගීතයේ සහ දක්‍ෂිණ භාරතයේ සංගීත මූලයන් ඇසුරු කරගනිමින් ඔස්‌ටින් මුණසිංහ ප්‍රවීණ ශිල්පියා නිර්මාණය කළා.

ඔබ සංකේත ගැන ප්‍රකාශ කළා. මේ සංකේතවලින් අද සමාජයේ අපි දකින චරිතත් උලුප්පා දක්‌වනවාද?

ඔව්. සමාජයේ සියලුම සංස්‌ථා මේ නාට්‍යයේ චරිතවලින් නියෝජනය වෙනවා. අපේ රටේ පීඩිත ජනතාව තමයි රතුහැට්‌ටකාරීගේ චරිතයෙන් සංකේතවත් කරන්නේ. රජු අපේ බල අධිකාරියත් සෙබළා හැමදාම රජුට හේත්තු වී පොදු ජනතාවත් රජුත් අතර සිටින අතරමැදියා සංකේතවත් කරනවා. පූජකයාගෙන් නියෝජනය වන්නේ පාලනාධිකාරිය පවත්වාගෙන යැම සඳහා අනියම්ව රජුට සහාය දෙන අය. මේ සංකේත තමයි "රතුහැට්‌ටකාරී" නාට්‍යයේ මායාව බිඳින උපක්‍රම සමඟ පාවිච්චි කරන්නේ. හැමදාම බොරුව සහ මායාව පෙන්වමින් සිටින බව මේ චරිත ඔස්‌සේ තහවුරු කරනවා. මෙය බල අධිකාරිය සහ ජනතාව අතර පවත්නා සදාකාලික ගැටුම පෙන්වන නාට්‍යයක්‌.

"රතුහැට්‌ටකාරී" ට පසු ඔබේ නාට්‍ය සම්මාන උළෙලවලට ඉදිරිපත් නොකළේ ඇයි?

"රතුහැට්‌ටකාරී" නළුවාගේ කාර්ය සඳහාම ලියූ නාට්‍යයක්‌. තාත්විකත්වයේ මායාව බිඳගෙන ගොස්‌ ප්‍රේක්‍ෂකයාට කෙළින්ම අමතන රංගනයක්‌ සඳහා නාළුවාට ඉඩකඩ සලසා දී තිබෙනවා. හැත්තෑහතරේදී ජයලත් මනෝරත්නට හොඳම නළුවා සම්මානය රාජ්‍ය නාට්‍ය උළෙලේදී ලැබුණා. හොඳම නාට්‍ය රචනයට හිමි සම්මානයත් ලැබුණා. ඔස්‌ටින් මුණසිංහට හොඳම සංගීතයට පුදන සම්මානයත් හිමිවුණා. ඒත් ඒ උළෙලේදී සාම්ප්‍රදායික බල අධිකාරියේ අත්තනෝමතිකත්වය ඉදිරියට ආවා. වසරේ හොඳම නිළියක්‌ නැති බව නිවේදනය කරමින් "රතුහැට්‌ටකාරී"ට අසාධාරණයක්‌ කළා. එකල සම්මාන දෙන්නේ අවසන් නාට්‍ය රංගගත කළ දවසේ රාත්‍රියේදීමයි. අවසන් දවසේ "රතුහැට්‌ටකාරී" රංගගත කළා. ඒත් පෙර වසරවල නොවූ ලෙසින් එදා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට ප්‍රමාද වුණා. විනිශ්චය මණ්‌ඩලයේ සිටි සාමාජිකයන් දෙදෙනෙක්‌ වූ මහාචාර්ය විමල් දිසානායක සහ එවක රාජකීය විදුහලේ කනිෂ්ඨ අංශයේ විදුහල්පති ඒ. එච්. පියසේන යන මහත්වරු නේපත්‍යාගාරයට ඇවිත් මාව හමුවුණා. "අපි දෙන්නා විනිශ්චය මණ්‌ඩලයෙන් අයින් වුණා. මේ සම්මාන ප්‍රදානයට අපි සම්බන්ධ නෑ" කියා ඔවුන් කිව්වා. මම "ඇයි" කියා ඇහුවා. "මේක බුලත්සිංහල නාට්‍ය උත්සවයක්‌ වෙන්න දෙන්න බෑ" කියා කතාවක්‌ මතුවුණා. එනිසා අපි ඉවත්වෙලා යනවා කියමින් ඔවුන් දෙදෙනා දැඩි සිත් තැවුලකින් මට සමුදුන්නා. එදායින් පසුව මගේ නාට්‍යයන් රාජ්‍ය නාට්‍ය උළෙලකට ඉදිරිපත් කළේ නෑ.

"රතුහැට්‌ටකාරී" අපේ පාලක පැලැන්තියට පහර එල්ල කිරීමක්‌ද?

පහරගැසීමට වඩා ඒ දේ දිහා උපහාසයකින් බලන්න පොළඹවනවා. යම් යම් දේ ගැන මිනිසුන්ගේ යටි හිතේ හැඟêමක්‌ ඇති කරවනවා. අපේ දේශපාලන සමාජ වටපිටාව ගැන ඇස්‌ ඇරීමක්‌ සිද්ධ කරනවා. පහර ගැසීම් නම් මම කොහොමත් කරලා නෑ. පහර ගහන්න බෑ. රාජ්‍යය කියන්නේ කවදත් රාජ්‍යය. පක්‍ෂ වෙනස්‌ වුණත් රාජ්‍යය එකයි. හැමදාම ක්‍රියාත්මක වෙන්නේ එකම බල අධිකාරියයි. අවුල් සහගත බව ගැටුම්කාරී බව කොහොමටවත් වෙනස්‌ වෙන්නේ නෑ.

අපේ ප්‍රවීණ ශිල්පීන් ඇයි අලුත් නාට්‍ය නොකර පැරණි නාට්‍යයම කරන්නේ?

මගේ සිතිවිල්ල නම් පරණ නාට්‍යයක්‌ කිරීම නොවේ. නාට්‍ය කවදාවත් පරණ වෙන්නේ නෑ. අදත් ශේක්‌ස්‌පියර්ගේ, ඉබ්සන්ගේ නාට්‍ය කොහේ හරි තැනක නිපදවනවා. නාට්‍ය නාට්‍යමයි. සමහර කෘතීන් කාලීනත්වය නැති වුණාම මැකී යනවා. ඒත් එසේ නොවන නාට්‍ය ඕනෑම කාලෙක පෙන්වන්න පුළුවන්.

"රතුහැට්‌ටකාරී" එදාට වඩා අද වෙනස්‌ද?

නෑ රංගන වින්‍යාසය වෙනස්‌. පිටපත ඒකමයි. රතුහැට්‌ටකාරී සාමාන්‍ය නාට්‍යයකට වඩා වෙනස්‌ ශෛලියක නාට්‍යයක්‌ නිසා මම පරණ කියන වචනය පාවිච්චි කරන්නේ නෑ. මනමේ, සිංහබාහු ශෛලිය එකක්‌. තාරාවෝ ඉගිලෙති තවත් ශෛලියක්‌. ශෛලීන්වල විවිධත්වයත් රසිකයාට විඳගන්න ඉඩදිය යුතුයි." නාට්‍ය ශෛලීන් කොතරම් තියෙනවාද කියා දන්නේ අපේ රටේ ඉතාම අතළොස්‌සයි.

අලුත් පිටපතක්‌ පාදක කරගන්න අලුත් නාට්‍යයක්‌ කරන්න ඔබ සූදානම් නැද්ද?

මම හුඟක්‌ කැමැතියි, එහෙම කරන්න. ඒත් අපිට දැන් අනුග්‍රහයක්‌ හරි ලැබෙන්නේ කීර්තිය නිසා. රතුහැට්‌ටකාරිට, තාරාවෝ ඉගිලෙති නාට්‍යයට කීර්ති නාමයක්‌ තියෙනවා. එනිසා වියදම් කළාට කමක්‌ නෑ කියා අනුග්‍රාහකයෝ හිතනවා. අලුත් නාට්‍යයකට කෙනෙක්‌ නම්මාගැනීම අසීරුයි. අද තත්ත්වය අනුව රුපියල් ලක්‍ෂ අටක්‌ දහයක්‌ විතර වියදම් කරන්න වෙනවා. සෙරනින් එන්ටර්ටේන්මන්ට්‌ ඒ අභියෝගය සතුටින් භාරගත්තා.

අද නාට්‍ය බලන්න ප්‍රේක්‍ෂකයන් එනවද?

එක්‌තරා කාලයක එළියට යන්න බැරි, සැන්දෑවක්‌ ගතකරන්න බැරි තත්ත්වයක්‌ රටේ තිබුණා. ඒ භීෂණකාරී සිතිවිල්ල නැති වූ පසුව යා හැකි තැන් මිනිසුන් සොයනවා. ඒත් එහෙම තැන් නෑ. නාට්‍ය කලාව රටේ සුව පහසු තැන් නොවේ. ප්ලාස්‌ටික්‌ පුටුවක ඉඳගෙන පැය දෙක තුනක්‌ නාට්‍යයක්‌ බලන්න පුළුවන්ද? ඒත් එහෙම බලලත් රස විඳින පිරිසක්‌ ඉන්නවා. මේවා නාට්‍ය ශාලා නොවේ. එක්‌කෝ නගර ශාලාවක්‌ නැත්නම් රැස්‌වීම් ශාලාවක්‌. නාට්‍ය පෙන්වීම සඳහා වූ ගොඩනැඟිලි ලංකාවේ නෑ. වැදගත් නාට්‍ය ශාලාවකට තවමත් තියෙන්නේ ලයනල් වෙන්ට්‌ඩ් රඟහල විතරයි. ඒකත් අවුරුදු හැත්තෑවකටත් වඩා පරණයි.

රතුහැට්‌ටකාරී සමඟ මෙවර එක්‌වන ශිල්පීන් කවුද?

ඉෂාර වික්‍රමසිංහ, පින්සර සමරසේකර, සුබුද්ධ ලක්‌මාල්, රන්දිමා තිළිණි, ජයනාත් බණ්‌ඩාර, නිරෝෂන් විඡේසිංහ, අසිඳු මිහිරාන්, ප්‍රාර්ථනා සමාධි, නිශාන්ත අජිත් කුමාර, තිලාන් වර්ණජිත්, බුද්ධික ප්‍රේමතිලක, කේ. නාලක සේනාරත්න, නාමල් කොළඹමුදලි වගේම ප්‍රවීණ ශිල්පීන් වන ගාමිණී සමරකෝන් සහ අනුර බණ්‌ඩාර රාජගුරු රඟපානවා. නව සංගීත සංයෝජනය හර්ෂ බුලත්සිංහල. වෙස්‌ නිර්මාණය නිමල් රාජපක්‍ෂ සහ බුද්ධදාස ගලප්පත්ති, පසුතල නිර්මාණය උපාලි හේරත්, ඇඳුම් සම්පාදනය සුවිනීතා සුභසිංහ, වේදිකා පරිපාලනය නිව්ටන් ගුණසේකර, නිෂ්පාදනය එම්. ඩී. ප්‍රේමසිරි, බන්ධුල ඒකනායක, බණ්‌ඩාර ඇහැලියගොඩ සහ චන්න ප්‍රනාන්දු.

රතුහැට්‌ටකාරී යළිත් වේදිකාවේ රඟන අයුරු දැකබලා ගැනීමට හැත්තෑව දශකයෙන් පසු පරම්පරාවට ඉඩකඩ ලැබී ඇත. ඒ සඳහා ප්‍රේක්‍ෂකයන් හයසිය දෙනකුට නොමිaලේ අවස්‌ථාවක්‌ ලබාදීමට ද සෙරනිට්‌ එන්ටර්ටේන්මන්ට්‌ සූදානම්ය. නුගේගොඩ හෝ කොළඹ අවට ඇති සරසවි පොත්හලකින් පොතක්‌ මිලට ගන්නා හයසිය දෙනකුට මෙම 11, 12 සහ 13 යන දිනවල ලයනල් වෙන්ට්‌ඩ්හිදී "රතුහැට්‌ටකාරී" නැරඹීමට නොමිලේ ප්‍රවේශ පත්‍රයක්‌ ලබාගත හැකිය. "රතුහැට්‌ටකාරී" සමඟ නාට්‍ය කණ්‌ඩායම ප්‍රේක්‍ෂක ප්‍රතිචාර විඳීමට කැමැත්තෙන් පසුවේ.

යස ඉසුරු පිරුණු තැනා
සිරිදෙව්දුව වඩින තැනා
ළඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ...
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all