Photobucket

Saturday, March 2, 2013

තමන්ගේ අරමුණු වෙනුවෙන් විතරක් කැපවෙන්න ගියොත් විවාහය අසාර්ථක වෙනවා

දිල්හානි අශෝකමාලා ඒකනායක සිනමාවට පිවිසියේ දක්ෂ නර්තන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙසයි. ඇය ක්ෂේත්‍රයට ආ කාලයේ බොහෝ දෙනෙක් ඇය පිළිබඳ කතා කළේ ඇයගේ රංගන දක්ෂතාවයන් පිළිබඳවයි. රංගන ශිල්පිනියක් ලෙසින් අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් දිල්හානි නර්තන හැකියාවන්ගෙන් යුක්ත තරු අතරින් සුපිරිතරු තේරීමේ වැඩසටහනකට එක්වී සිටිනවා. දිල්හානි “රිද්ම” සමගින් ඇයගේ තොරතුරු පවසන්නට මේ අයුරින් එක්වුණා.
 
ඔබ රියැලිටි වැඩසටහනක විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන්නේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සමගයි. මේ වැඩසටහන තෝරාගැනීමට හේතුව මොකක්ද?
සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහන එක්ක එකතුවෙන්න හේතු කිහිපයක් බලපෑවා. එකක් තමයි අපේ අදහස්වලට දෙරණ නාලිකාව එකඟ වීම. නියම දක්ෂයා කවුද කියලා මේ වැඩසටහනේදී තෝරා ගන්නේ එස්.එම්.එස්. මගින් නෙවේ. විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුවයි. දෙරණ ගත් මේ තීරණ නිසා මම සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහනට එක්වුණා.

ඔබට මීට කලින් මෙවැනි වැඩසටහනකට ආරාධනා ලැබුණෙ නැද්ද?
මීට කලින් එක නාලිකාවක් මට රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. මාත් ඒකට එකඟවෙලා හිටියේ. නමුත් මට දන්වලා තියෙන දිනය වෙනතුරුත් ඒ අය කිව්වෙ නැහැ වැඩසටහන නතර කරලා කියලා. ඇඳුම් පහක් මහලා, මේකප් කරන අයටත් කිව්වටත් පස්සෙ මට පාඩුව බාර ගන්න වුණා. මට ඒ ආරාධනය කරලා මඟ ඇරියේ සාමාන්‍ය නාලිකාවක් නෙවේ, ලංකාවේ ප්‍රධානම නාලිකාවක්. දෙරණ මට මේ වැඩසටහනට ආරාධනා කළා. ඔවුන් බොහොම වැදගත් විදියට මේ වැඩසටහන මේ වන විට කරගෙන යනවා.
 අපි යම් කටයුත්තකට දායක වෙද්දී වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න ඕන. සත්තු වගේ වැඩ කරන්න වෙනවා නම් එවැනි වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න බැහැ. මේ වැඩසටහනේදී චන්නට, මට, කෙවින්ට ආයතනය හොඳින් සලකනවා. ඇඳුම්, පැළඳුම් ගැන පවා ඔවුන් උනන්දුවෙන් කටයුතු කරනවා.

රංගන ශිල්පිනියක් ලෙස ඔබ නිර්මාණ අතර නිතරම දකින්නෙ නැහැ කියලා ප්‍රේක්ෂකයන් කියනවා?
මම රංගනයෙන් එක්වුණ චිත්‍රපට හය හතක්ම ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. ධවල දූවිලි, තරු අතර මං, දළදා ගමන වගේ තවත් චිත්‍රපට කීපයක් තියෙනවා. ඒ වගේම වීදිය බණ්ඩාර කියන ටෙලිනාට්‍යයේ රූගතකිරීම්නුත් සිදුවෙමින් පවතිනවා. පහුගිය දවස්වල ඇතිවුණ අවිවේකී බව නිසා රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.

ක්‍ෂේත්‍ර්‍රයට ආ මුල් කා‍ලේ ඔබ ඔබේ වයස කිව්වා. දැන් ඔබ ඔබේ වයස කියන්න කැමැතිද?
ඔව්, කියන්න අකමැති නැහැ. නමුත් දැන් ඒ දේවල් කීම අදාළ නැහැ කියලා හිතෙනවා. සමහර වෙලාවට මම මගේ සැබෑ තොරතුරු කිව්වහම මගේ හිතවත් අය අහනවා ඇයි ඔය දේවල් කියන්නෙ, ඒවා අවශ්‍ය නැහැ කියලා.

ඔබ ලොකුපුතෙක් ඉන්න අම්මා කෙනෙක්. තාමත් ඔබේ හැබෑ වයස පේන්නෙ නැහැ. මොකක්ද ඒකෙ රහස?
ඒකෙකිසිම රහසක් නැහැ. මගේ හැබෑ වයස ඒ විදියටම පේනවා. පුතා එක්ක ඉදිද්දී මගේ වයස කොහොමත් හොඳට පේනවා. දැන් පුතා උසස්පෙළ පන්තිවල ඉගෙන ගන්නෙ. වයසට යෑම නොපෙන්න ඉන්න විශේෂ දෙයක් අපට කරන්න බැහැ. ඇත්තට මුහුණදෙන්න අපට සිදුවෙනවා.

පුතාටත් ඔබට වගේ රංගන හැකියාවන් තියෙනවද?
එයාගෙ දක්ෂතාවයන් තියෙන්නෙ සංගීතය පැත්තට. සීයා, තාත්තා වගේ සංගීතයට ගොඩක් ලැදියි.

පුතා ඒ පැත්තෙන් ඉදිරියට යනවට ඔබ කැමතිද?
මම කලාවට කැමැතිකෙනෙක්නේ. එයා හරියට සංගීතය භාවිතා කරනවා නම් සංගීතය පැත්තෙන් ඉදිරියට ගියාට කමක් නැහැ. මුල්ම දේ අධ්‍යාපනයට මුල්තැන දීම. ඉන් පස්සෙ සංගීතය කරනවා නම් හරි විදියට ඒ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු පටන් ගන්න ඕන.

සිනමාවට ඇවිත් ටික කාලයකින් විවාහ වීම වෘත්තීය ජීවිතයට බලපෑවේ මොන විදියටද?
විවාහ වීම මගේ වෘත්තීය ජීවිතයට බාධාවක් හෝ බලපෑමක් වුණේ නැහැ. මම හිතන්නෙත් නැහැ විවාහය වෘත්තීය කටයුත්තකට බාධාවක් කියලා. ක්ෂේත්‍රයේ සමහර අය විවාහය හංගනවා. ඒ අයට ලැබුණු දරුවන් පවා මාධ්‍යයෙන් නොපෙන්වා හංගනවා. එහෙම හංගගෙන ජීවත්වෙන අය දිහා බැලුවහම ඒ අය බලා‍පොරොත්තුවෙන විදියට ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්නවද කියලත් හිතනවා. විවාහය, දරුවන් ලැබිම සැඟවිය යුතු දෙයක් නොවේ.

ඔබ ඔබේ ජීවිතයේ තීරණ නිසි කාලයට ගත්තා කියලා හිතනවද?
විවාහය වගේ තීරණ මම නිසි කාලයට කළා කියලා හිතෙනවා. මගේ ජීවිතයේ බොහෝ තීරණ මම නිසි කාලෙට වෙලාවට ගත්තා කියලා හිතනවා. සමහර වෙලාවට වැරදුන තැන් ඇති.

ඔබේ සැමියා(ප්‍රියංකර පෙරේරා) කාලයක් රංගනයටත් සම්බන්ධවෙලා හිටියා. දැන් ඔහු රංගනයට දායක වෙන්නෙ කලාතුරකින් නේද? ඊට හේතුව?
ප්‍රියංකරට ගීත ගායනා කරන්න තියෙන්නේ රෑට. රූගත කිරීම්වලට බොහෝ වෙලාවට සම්බන්ධවෙන්න තියෙන්නෙ රෑට. දවල්කාලෙත්, රාත්‍රියෙදිත් දිගටම වැඩ කරන්න අමාරුයි. එයා මූලිකත්වය දුන්නෙ ගීත ගායනයට. රංගනයට අපි වගේ කැපවෙලා කටයුතු කරන්නෙ කැමැත්තක් ප්‍රියංකරට නැහැ.

ඔබ වෘත්තීය ජීවිතයට වගේම ගේ දොර වැඩකටයුතුවලටත් වෙලාව වෙන් කරන කෙනෙක්. මේ දෙකම සමබරව කරගත්තෙ කොහොමද?
සමහර වෙලාවට වෙහෙසක් දැනෙනවා. මගේ ගෙදර උයන්නවත් කවුරුත් නැහැ. අපිම තමයි ඒ වැඩකටයුතු කරන්නෙ. මටත් පුළුවන්කම තිබිලා තියෙනවා හැම දෙයක්ම එකම විදියට කර ගන්න. ඒ නිසා කරන්න වෙන වැඩ ප්‍රමාණයත් වැඩියි. මම ටිකක් සැරට උයනවා. ප්‍රියංකර සැරට කන්න කැමැති නිසා උයන පිහන කටයුතුත් මටම පැවරෙනවා. ගෙදර හිටියොතින් ගේ දොර වැඩකටයුතුවලට සෑහෙන්න කාලය වෙන් කරනවා. ෂූටිංවලට ගියාම තමයි මම ඒ කටයුතුවලින් නිදහස්වෙන්නෙ. ෆෝන් එකෙත් ස්විච් ඕෆ් කරගෙන මම රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මම දැන් රූගත කිරීම්වලට ඉස්සර වගේ දුර යනවා අඩුයි. තව අවුරුදු දෙක, තුනකින් පුතාගේ අධ්‍යාපන කටයුතු අවසන් වේවි. ඊට පස්සෙ වෘත්තීය කටයුතු කරන්න ටිකක් නිදහස ලැබෙයි කියලා හිතනවා.

වර්තමානයේ දක්ෂ නර්තන ශිල්පියෙක් එක්ක නර්තන ජවනිකා වැඩි චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්?
දැන් අපට නටන්න බැහැ. අවුරුද්දකට සැරයක් රිදී රැයක් ප්‍රසංගයට නර්තනයෙන් දායක වුණාට ඒ හැර වෙනත් නිර්මාණයක් වෙනුවෙන් මම නර්තනයේ යෙදෙන්නෙ නැහැ. හොඳට පුහුණුවෙන්නෙ නැතිව නර්තනයේ යෙදෙන්න බැහැ. ඒ කා‍ලේ උදේ ඉඳන් රෑ දහය විතර වෙනකන් නර්තනය පුරුදු වුණා. දැන් මම ඒ කැපකිරීම නර්තනය වෙනුවෙන් කරන්නෙ නැහැ. 

අද රංගනයට සම්බන්ධ බොහෝදෙනෙක් විවාහ වෙනවා. ඒ එක්කම බොහෝ දෙනෙක් ඉක්මනින් විවාහය දික්කසාදයකින් කෙළවර කර ගන්නවා. ඔබට විවාහ ජීවිතය රැකගන්න පුළුවන් වුණේ කොහොමද?
ඕනම පවුලක ප්‍රශ්න තියෙනවා. පවුල් ජීවිතයක් රැකගන්න නම් ඉවසීම කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අනික විවාහ වෙනවා නම් හොඳට කේන්දර බලලා බඳින්න ඕන. ගැහැනියක් ගුණදම් රැකගෙන ජීවත්වෙනවා නම් අමාරුවෙන් වුණත් ජීවත්වෙන්න පුළුවන්. විවාහ වෙලා ළමයි ලැබුණට පස්සෙ බොහොම පරිත්‍යාගශීලීව කටයුතු කරන්න ඕන. තමන්ගේ අරමුණු වෙනුවෙන් විතරක් කටයුතු කරන්න ගියොත් විවාහ ජීවිතය අසාර්ථක වෙනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all