Photobucket

Sunday, February 24, 2013

කලා කරුවන්ගේ එකමුතුවක් නැහැ

ඔබේ නිවහනේ ඇති රූපපෙට්‌ටියෙන් විකාශය වුණු කාව්‍යා නාට්‍යයේ ගජනායක, නිලංජනා හි සේරම්, ලොක්‌කයියා හි ඉන්ස්‌පෙක්‌ටර්, ගුරුගීතයේ පොලිස්‌ පරීක්‍ෂක ඔබට මතකද?

එහෙමත් නැතිනම් වන් බ්ලඩ් චිත්‍රපටයේ ද්විත්ව චරිතයකින් වගේම සුදුහංසි චිත්‍රපටයේද කතාබහට ලක්‌වුණු චරිතයක්‌ නිරූපණය කළ අජිත් වීරසිංහ මතකද? පසුගිය කාලයේ ඔහු ගැන කතාබහට ලක්‌වුණේ රියෑලිටි තරුවක්‌ ලෙසින්. ඒ මෙගා ස්‌ටාර් වේදිකාව හේතුවෙනි. අජිත් වීරසිංහ දැන් නළුවෙක්‌ වගේම ගායකයෙක්‌. මේ දිනවල ඔහු අලුත් වැඩකට අතගහලා. ඒ ගැන දැනගන්න අපි අජිත්ව මුණගැසුණා.

අජිත් කියන්නේ දැන් නළුවෙක්‌ද ? ගායකයෙක්‌ද ?

දැන් නම් දෙකම කරනවා.

රියෑලිටි තරුවක්‌ වූ පමණික්‌ ගායකයෙක්‌ වෙන්න පුළුවන්ද?

රියෑලිටි තරුවක්‌ වෙන්න නම් අනිවාර්යයෙන්ම ගායන කුසලතාව තිබිය යුතුයි. එහෙම කුසලතාවක්‌ නැතිනම් ගායකයෙක්‌ වෙන්න බැහැනේ.

අලුත් ගීතයක්‌ නිර්මාණය කළා කියලත් ආරංචියි ?

කොළකැඳ කියලා අලුත් ගීතයක්‌ නිර්මාණය කළා. මේ ගීතයේ පද රචනය වගේම සංගීතයත් නිර්මාණය කළේ මමයි. අපේ රටේ සිංහල ජනතාව වෙනුවෙන් පණිවුඩයක්‌ දෙන්න තමයි නිර්මාණය කළේ.

මොකක්‌ද දෙන පණිවුඩය ?

ත්‍රස්‌තවාදය වගේම තියෙන විශාල උවදුරක්‌ තමයි දියවැඩියා රෝගය. මේ රෝගය සමාජයේ 20% කට විතර හැදිලා තියෙනවා. ඒ තුළින් අපේ රටේ ජනතාව පරිහානියට පත්වෙනවා. ඒ අනතුරු ඇඟවීම මූලික කරගෙන තමයි මේ ගීතය පේන්න නිර්මාණය කළේ.

දැන් වැඩිපුර පේන්න නැත්තේ ඇයි ?

නැත්තේ නැහැ. මේ දවස්‌වල මම රඟපාන ඉටිමල් නාට්‍යය විකාශනය වෙනවා. ඊට අමතරව මම රඟපෑ පරපුර, මායාවි චිත්‍රපට දෙක තිරගත වීමට නියමිතයි. ඔය අතරේ හොඳ ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා. මොනව වුණත් මම වැඩිපුර කැමැති චිත්‍රපටවල රඟපාන්න.

ඇයි ඒ ?

මම ගොඩක්‌ ආසයි සිනමා රංගනයට. ඒක තමයි ප්‍රධානම කාරණාව.

ඔබ කිව්වා හොඳ නාට්‍යයක්‌ ලැබුණොත් රඟපානවා කියලා. මොනවද ඔය හොඳ නාට්‍ය ?

මට යමක්‌ සාධාරණව කරන්න පුළුවන් නිර්මාණයක්‌ ලැබුණොත් විතරයි භාරගන්නේ. ඒ වගේම ඒ චරිතයෙන් මිනිස්‌සුන්ට යමක්‌ ලබාගත හැකි වෙන්න ඕනෑ.

අද කාලේ එහෙම නාට්‍ය තියෙනවාද?

අපොයි ඔව්.

හැබැයි පෙA්‍රක්‍ෂකයෝ නම් කියන්නේ එවැනි ටෙලිනාට්‍ය නැහැ කියලයි ?

හොඳ නාට්‍ය නැත්තෙම නැහැ. නමුත් ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා.

ඒ මොකක්‌ද?

අද කාලේ නාට්‍යයක්‌ නිර්මාණය කළහම ඒක විකුණගන්න බැහැ. විශාල මුදලක්‌ වියදම් කරලා කරන නාට්‍ය භාරගන්න නාලිකා කැමැති නැහැ. ඒ නිසා අඩු මුදලට නාට්‍ය හදන්නයි බලන්නේ. එතැනදී නාට්‍යයේ කොලිටි එක බාල වෙනවා. ඕකට කරන්න දෙයක්‌ නැහැ.

ඔබලාට කලාකරුවෝ විදිහට එකතුවෙලා යමක්‌ කළ හැකිනේ ?

දැන් නාට්‍ය නිෂ්පාදනය වැඩිවෙලා. එක දවසකට රූපවාහිනියේ කොච්චර නම් නාට්‍ය විකාශනය වෙනවාද? චැනල්ම කීයක්‌ තියෙනවාද? මිනිස්‌සුන්ට තෝරාගන්න බැහැ මොන නාට්‍යයද බලන්නේ කියලා. මගේ නම් මතය එක හොඳ නාට්‍යයක්‌ නිර්මාණය කරලා ඒක විකාශනය කළ යුතුයි කියලා. එතකොට මිනිස්‌සු බලනවානේ.

මම ඇහැව්වේ මේ දෙයට පිළියමක්‌ නැතිද කියලා ?

ඔබ කියන විදිහට කලාකරුවන්ට එහෙම එකතුවෙලා වැඩකරන්න පුළුවන් නම් හොඳයි.

ඇයි කලාකරුවන්ගේ එකමුතුවක්‌ නැතිද?

නැහැනේ. කොහොමත් කලාකරුවෝ වැඩකරන්නේ බෙදිලා. එකමුතු වුණ දවසට තමයි ජයගන්න පුළුවන්. තවම නම් එහෙම දෙයක්‌ පෙනෙන්නේ නැහැ.

අලුත් මුහුණු අජිත්ගේ තැන උදුරගෙන වගෙයි ?

අනේ එහෙම දෙයක්‌ නැහැ. මගේ තැන කවුරුවත් උදුරාගෙන නැහැ.

ඒ වුණාට අලුත් මුහුණු අභියෝගයක්‌ නේද?

නැහැ. මගේ මුහුණත් අලුත්නේ. ඒක හින්දා එහෙම නැතිවෙන්න දෙයක්‌ නැහැ.

මොනවද මේ දවස්‌වල කරන්නේ ?

ඉටිමල් නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලයි ඉන්නේ. තව චිත්‍රපට හා ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙනුත් වැඩකරගෙන යනවා.

දැන් මෙතැනට ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු පහළොවක්‌ විතර වෙනවා. ව්‍යාපාර කටයුතුවල නියෑළී සිටින නිසා වැඩිය කලා ක්‍ෂේත්‍රය තුළ දැඟලුවේ නැහැ.

හේතුව ?

මගේ ආර්ථීකය ශක්‌තිමත් කිරීම වැදගත්.

කලාවෙන් ජීවත්වෙන්න බැරිද?

කීයටවත් බැහැ. ඒකයි මම ව්‍යාපාර කටයුතුවල නියෑළෙන්නේ.

මෙතැනට ඇවිත් අවුරුදු 15 ක්‌ කිව්වා. තවමත් මිනිස්‌සු අතර කතාබහට ලක්‌වෙන චරිතයක්‌ රඟපාන්න බැරිවුණා නේද?

එහෙම දෙයක්‌ වෙලා නැහැ. මම රඟපෑ ලොක්‌කයියා, කාව්‍යා, නිලංජනා නිර්මාණ ගැන ගොඩක්‌ දෙනෙක්‌ කතාබහ වුණා. ඒක හින්දා ඔය කතාව කොහොමටවත් පිළිගන්න බැහැ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all