රුහුණ
සරසවියේ වාණිජ අංශයට තේරීපත්වූ නවක ශිෂ්‍යයකු සිය නිවසට
යාබදව පිහිටි කාමරයකදී (26 වැනිදා) ගෙල වැලලාගෙන
මියගොස් ඇත.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වැලිගම බොරාල පාලු
පොල්කොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි සුනෙත්
හේවගේ නමැති තරුණයෙකි.ඔහු රුහුණ සරසවියේ වාණිජ අංශයට තේරී තිබූ නවක සිසුවකු වන අතර හා පුරා කියා විශ්වවිද්‍යාල ජීවිතය ඇරැඹීමට ඇඹිලිපිටියේ නායකත්ව පුහුණු කඳවුරට (28 දා) සහභාගි වීමට නියමිතව තිබී ඇත.
තම පුතුගේ අභාවය ගැන අදහස් දැක්වූ තරුණයාගේ මව වන කුසුමලතා ලියනගේ මහත්මිය මෙසේ පැවැසුවාය.
මියගොස් සිටින්නේ මාගේ බාල පුතායි. ඔහු කුඩා කාලයේ සිටම නිදා ගත්තේ මගේ ළඟයි. (26 දා) උදේ 3.30 ට විතර නැඟිටලා මම පිරිත් අහන්න රේඩියෝ එක දැම්මාම පුතාත් නැගිටලා එළියට ගියා. මම හිතුවේ වැසිකිළියට යන්න ඇතිය කියලා. එළිය වැටෙන්න කිට්ටුව බලන කොටත් නැති නිසා ලොකු පුතාට ඒ ගැන කිව්වාමයි ගේ ළඟ උඩහ කාමරේ දරුවා එල්ලෙමින් ඉන්නවා දැකලා තිබුණේ. දරුවාට වෙනත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒත් නිතර ඇදුම හැදෙන ගතියක් තිබුණා. විශ්වවිද්‍යාලයට තේරුණාමත් ගොඩාක් සතුටින් හෙට ඇඹිලිපිටියට යන්නයි සූදානමින් හිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඡේ. සී. අලවත්ත මහතාගේ අධීක්ෂණය මත පරීක්ෂණ අරඹා තිබූ අතර වැලිගම ග්‍රාමීය මරණ පරීක්ෂක කේ. එච්. ධනපාල මහතා විසින් මළ සිරුර පරීක්ෂා කිරීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණය සඳහා සිරුර වැලිගම දිසා රෝහල වෙත යොමුකර තිබිණි.








0 comments:
Post a Comment