Photobucket

Tuesday, December 11, 2012

ජාතික බොක්සිං ශූරතාවලිය 14දා

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය මෙහෙයවන 86වැනි ජාතික කාන්තා සහ පිරිමි බොක්සිං තරගාවලිය මේ මස 14වැනිදා සිට 18 දින දක්වා මහනුවර ලීනියා ජිම්නාස්ටික් ක්‍රීඩා ශාලාවේ දී පැවැත්වේ.

ජාතික බොක්සිං තරග ඉතිහාසයේ කොළඹ නගරයෙන් පිට තරගාවලියක් පැවත්වෙන පළමු අවස්ථාව මෙයවේ. තරගාවලියට අනුග්‍රහය දක්වනු ලබන මාස් ‍හෝල්ඩිංග්ස් සමාගමට අනුබද්ධිත සියලු පහසුකම්වලින් සම්පූර්ණ වූ ලීනියා ජිම්නාස්ටික් ක්‍රීඩා ශාලාවේ බොක්සිං තරග පැවැත්වීමට ස්ථාන 2ක් ඉදි‍කොට ඇත. 

වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමේ අරමුණින් සහ තරගාවලියට නව අත්දැකීමක් එක්කිරීමේ අදහසින් මෙවර තරගාවලියේ අවසන් මහා තරග මහනුවර සිටි සෙන්ටර් ශාලා‍වේ ඉහළ මාලයේ පැවැත්වීමට නියමිතය. 

මෙවර ජාතික බොක්සිං තරගාවලියේ එක් එක් බරපන්ති යටතේ ජය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ මාර්තු මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවසන් තේරීම් තරගවලට සහභාගිවිමේ අවස්ථාව උදාවේ. 

මෙවර තරගාවලියට ස්ලිම් ලයින්, යුද, නාවික, ගුවන්, පොලිසිය, යුනිචෙලා, සිලුවෙටා, මාස් සදර්න් ක්‍රීඩා සමාජ මෙන්ම විද්‍යාර්ථ, කිංග්ස්වුඩ්, විද්‍යාරත්න සහ රාජකීය වැනි පාසල් කණ්ඩායම් ද තරග වදිති.

මාස් සදර්න් ‍බොක්සිං ක්‍රීඩා සමාජයේ නිල්මිණි ජයසිංහ පසුගිය වසරේ තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙසත්, ගුවන් හමුදාවේ ටී.ඩී.එන්.ටී. ජයකොඩි හොඳම ‍බොක්සිං ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනා ගත්හ. 

මාස් සදර්න් 'ඒ' පිල ‍තරගාවලියේ දක්ෂතම කාන්තා කණ්ඩායමට හිමි සම්මානය දිනූ අතර හොඳම කණ්ඩායමට හිමි සම්මානය දිනාගනු ලැබුවේ යුද හමුදා කණ්ඩායම විසිනි.

මෙරට කාන්තා බොක්සිං තරග වළල්ලේ විශිෂ්ටතම ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සිය බොක්සිං තරග දිවියේ අවසන් වරට සහභාගි වන තරගාවලිය වන අතර අන්තර් ජාතික බොක්සිං ශූර මංජු වන්නිආරච්චි සිය වසර 2ක තරග තහනමෙන් පසුව යළි බොක්සිං වළල්ලට අවතීර්ණ වන තරගාවලිය ලෙස ද මෙවර ජාතික බොක්සිං තරගාවලිය වැඩිදෙනාගේ අවධානයට පාත්‍ර වනු ඇත. 

මෙවර තරගාවලියේ අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ෆවුස් මොහොමඩ්
දිනමිණ ඇසුරින් පාකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all